1මම ෂාරොන්හි සෙව්වන්දියක් ය;
මිටියාවත්වල මානෙල් මලක් ය.
2කටු ගස් අතරේ මානෙල් මලක් යම් සේ ද යුවතියන් අතරේ මාගේ සොඳුරියත් එසේ ම ය.
3වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය.
ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි;
එහි ඵල මා මුවට ඉමිහිරි ය.
4ඔහු බොදුන් හලට මා ගෙනායේ ය.
මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය.
5වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න;
ජම්බුවලින් මා පණ ගන්වන්න.
මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි.
6ඔහුගේ වමත මාගේ හිස යට ඇත;
දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත.
7ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරන්න.

දෙ වන ගීතය

8අන්න, මා පෙම්වතාගේ කට හඬ;
කඳු මත පනිමින්, හෙල් පිට නඟිමින් බලන්න එන හැටි විගසින්.
9මා පෙම්වතා මුවෙකු වැනි ය.
ඔහු මුව පැටවෙකු වැනි ය;
බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්;
10මා පෙම්වතා මා අමතමින් මට මෙසේ කී ය:
“මා සුරතලිය, නැඟිටින්න;
මා සොඳුරිය, දැන් එන්න.
11සිසිර කාලය දැන් පසු වී ඇත;
වැසි වරුසා නතර වී ඇත.
12මිහි පිට මල් පිපී ඇත;
ගී ගයනා කාලය පැමිණ ඇත;
කොවුල් හඬ දසත පැතිර යත.
13පැසුණු දිඹුල් පල ඉදෙන විට, මිදිවැල් සුවඳ හමන විට, මා සුරතලිය, නැඟිට එන්න;
මා සොඳුරිය, දැන් එන්න.
14කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න;
ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න;
ඔබේ කට හඬ මිහිරි ය;
ඔබේ මුහුණ සෝබන ය.”
15මිදිවැල්වල මල් පිපී ඇති විට ඒවා වනසන සිවලුන්, කුඩා සිවලුන් අල්ලා ගන්න.
16මාගේ පෙම්වතා මාගේ ය;
මම ඔහුගේ ය.
ඔහු මානෙල් අතරේ බැටළු රැළ කවයි.
17මාගේ පෙම්වත, උදේ සුළං හමන තුරු, සෙවණැලි පහ වන තුරු බෙතෙල් කඳු පිට යන මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් හැරී එන්න.