1සලමොන්ගේ ගීතවලින් ඉතා උතුම් ගීතය ය.
පළමු වන ගීතය
2ඔබේ සිඹීම්වලින් මා නෑවී ඇත.
ඔබේ ප්‍රේමය මිදියුසට වඩා සුමිහිරි ය.
3ඔබේ සුවඳ විලවුන් සුමිහිරි ය.
ඔබේ නම වෑහෙන සුවඳ විලවුන් වැනි ය.
එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති.
4මා ඔබ සමඟ ගෙන යන්න;
අපි එකට දුවමු.
මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න.
එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත.
අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු.
සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?
5ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය;
සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.
6අව්ව මා පිට වැටීමෙන් මා මඳක් කළු වී සිටින නිසා මා හෙළා නොදකින්න.
මාගේ සොහොයුරෝ මා සමඟ කෝප වී මිදි වත්තේ වැඩ කරන්න මට නියම කළහ;
මා ගැන සලකන්න මට වේලාවක් නො වී ය;
7මාගේ ප්‍රියාදර සොඳුර, මට මේ දේ කියන්න:
ඔබේ බැටළු රැළ කවන්න ගෙනයන්නේ කොතැනට ද?
ඉර මුදුන් වේලේ උන් ලග්ගන්නේ කොහේ ද?
අන් එඬේරුන්ගේ පට්ටි අතරේ ඔබ සොයන්න මට ඇති උවමනාව කුමක් ද?
8කාන්තාවන්ගෙන් ඉතා රුවැති සොඳුරිය, ඔබ මෙය නොදන්නෙහි නම්, රැළේ අඩි පාරේ ම ගමන් කර එඬේරුන්ගේ කූඩාරම් ළඟ ඔබේ එළු පැටවුන්ට කවන්න.
9මාගේ සුන්දරිය, අශ්ව ධේනුවක පාරාවෝගේ රථවල අශ්වයන් කුල්මත් කරන සේ ඔබ මිනිසුන් කුල්මත් කරන්නෙහි ය.
10ඔබේ කපොලු තලෙහි ඇති කෙස් රොදින් ද ඔබේ ගෙල වට ඇති මැණික් මාලාවලින් ද ඔබ අලංකාර වී ඇත.
11රිදී පබුළු ඇති රන් මාලා ඔබට සාදා දෙන්නෙමි.
12රජ සිය යහනේ සිටිය දී මාගේ සුවඳ විලවුන් විහිදී ගියේ ය.
13මා පෙම්වතා මා පියයුරු අතරේ හෙවී සිටින විට සුවඳලාටුවල සුවඳ ඇත්තේ ය.
14මා පෙම්වතා මට එන්ගෙදියේ මිදි වතුවල වැවුණ වන මල් පියුම් පොකුරක් වැනි ය.
15මාගේ සොඳුරිය, ඔබ කොතරම් ශෝභා සම්පන්න ද?
ප්‍රේමයෙන් ඔබේ ඇස් බැබළෙන රඟ!
16මාගේ ප්‍රියය, ඔබ කොතරම් ශෝභන ද!
කොතරම් පියකරු ද!
අපේ යහන නිල් තණකොළ ය.
17අපේ ගෙයි බාල්ක කිහිරි ගස් ය;
එහි පරාළ දේවදාර ගස් ය.