මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨ ජේසුස් වහන්සේ

1ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ කිතුනු සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් හා උත්තම පූජකයාණන් ද වන ජේසුස් වහන්සේ ගැන කල්පනා කරන්න. 2මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි විශ්වාස ව සිටි සේ ම, ජේසුස් වහන්සේ ද තමන් පත් කළ තැනැන් වහන්සේට විශ්වාස ව සිටින සේක. 3ගෘහයට වඩා ගෘහය තැනූ තැනැත්තාට ගෞරවය ඇත්තේ යම් සේ ද, එසේ ම මෝසෙස්ට වඩා ජේසුස් වහන්සේ ගෞරවය ලැබීමට සුදුසු යයි ඒත්තුගන්නා ලදී. 4මන්ද, සෑම ගෘහයක් ම නිර්මාණය කරන්නෙක් සිටියි. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේ ය. 5සැබැවින් ම මෝසෙස්, දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂියක් ලෙස උන් වහන්සේගේ සේවකයෙකු මෙන් මුළු ගෘහයෙහි විශ්වාසී ව සිටියේ ය. 6එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසී ව සිටි සේක. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසැක ව පවතිමු නම්, අපි උන් වහන්සේගේ ගෘහවාසීහු වම්හ.

දේව සෙනඟට විශ්‍රාම ශාන්තිය

7“අද නුඹලා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නහු නම්,
8උන් වහන්සේ පරීක්ෂා කළ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.
9සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියා දැක දැකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ.
10‘ඔව්හු නිතර ම සිතින් මුළා වෙති;
මාගේ මාර්ග ද ඔව්හු තේරුම් නොගත්හ.
11නොවන්නෝ ය යි මාගේ උදහසින් දිවුළෙමි ය’යි කීවෙමි.”

12එබැවින් සහෝදරයෙනි, ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් වෙන්වීමට හේතු වන, ඇදහිල්ලක් නැති නපුරු සිතක් ඇති කිසිවෙකු, ඔබ අතර නොසිටින හැටියට බලාගන්න. 13ඔබගෙන් කිසිවෙකු පාප මායාවෙන් දැඩි නොවන පිණිස, ‘අද දවස’ යයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න. 14මන්ද, මුලදී අප තුළ වූ විශ්වාසය, අග දක්වා අපි තරයේ පවත්වාගනිමු නම්, අපි ක්‍රිස්තුන් වහන්සේගේ උරුමක්කාරයෝ වම්හ. 15ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි.

“අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, කැරලි ගැසූ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.”