1ස්වාමීනි, පියාණෙනි, මාගේ ජීවිතයේ හිමියාණෙනි, සතුරන්ගේ හිතුවක්කාරකම්වලට මා පාවා නුදුන මැනව.
ඔවුන් නිසා මා පැකිළ වැටෙන්නට ඉඩ නොහැරිය මැනව.
2මාගේ වැරදි ගැන මා කෙරෙහි අනුකම්පාව නොදක්වන පිණිස ද මාගේ පව් නොතකා නොහරින පිණිස ද මාගේ කල්පනා පිට කසයක් තබනු ලැබුයේ නම් යහපත.
මාගේ සිතට ප්‍රඥාවේ ශික්ෂණය තබනු ලැබුයේ නම් යහපත.
3ඒ මාගේ වැරදි වැඩි නොවන පිණිසත් මාගේ පව් අධික නොවන පිණිසත් ය.
එවිට මම මාගේ එදිරිකාරයන්ගේ අත්වලට අසු නොවෙමි.
මාගේ සතුරා ඒ ගැන ප්‍රීති නොවන්නේ ය.
4ස්වාමීනි, පියාණෙනි, මාගේ ජීවිතයේ දෙවිඳුනි, මාගේ බැල්ම අහංකාර නොවන්නට සැලසුව මැනව.
5නපුරු ආශාවන් මා කෙරෙන් පහ කළ මැනව.
6රාග නිශ්‍රීත බව හා කාමුක බව මා දමනය නොකෙරේ වා!
විළිබිය නැති ආශාවන්ට මා පාවා නුදුන මැනව.

දිවිරීම

7දරුවෙනි, මාගේ ඉගැන්වීමට සවන් දෙන්න.
එය රක්ෂා කරන්නා වික්ෂිප්ත නොවන්නේ ය.
8පව්කාරයා ඔහුගේ තොල්වලින් ම උගුලට අසු වන්නේ ය.
අපවාද කියන්නා ද අහංකාරකාරයා ද ඒවා මඟින් පැකිළ වැටෙන්නෝ ය.
9ඔබේ මුඛය දිව්රීමට පුරුදු නොකරන්න.
ශුද්ධ තැනැන් වහන්සේගේ නාමය තෙපළීමේ පුරුද්දක් ඇති කර නොගන්න.
10නිතරම මුර කරනු ලබන මෙහෙකරුවා පහරවලින් නොගැළවෙන්නාක් මෙන්, හිතුමතේට දිවුරන්නා වූ ද දෙවියන් වහන්සේගේ නාමය කියා යදින්නා වූ ද තැනැත්තා පාපයෙන් නිදහස් නොවන්නේ ය.
11අධික ලෙස දිවුරන්නා අයහපතින් පිරී සිටින්නේ ය.
විපත්තිය ඔහුගේ ගෘහයෙන් පහ නොවන්නේ ය.
ඔහු පාපයක් කළොත්, ඔහුගේ පාපය ඔහු මත වන්නේ ය.
ඔහු නොසැලකිල්ලෙන් දිවුරුවොත්, ඔහු දෙගුණයක් පව් කරන්නේ ය.
ඔහු බොරුවට දිවුරුවොත්, ඔහු නිදොස් කෙනෙකු මෙන් සලකනු නොලබන්නේ ය.
ඔහුගේ ගෘහය ආපදාවන්ගෙන් පිරී යන්නේ ය.

අපිරිසිදු කතාව

12මරණය ලැබීමට සුදුසු කතා ලීලාවක් ඇත්තේ ය.
එය ජාකොබ්ගේ උරුමය තුළ ව්‍යවහාර නොවේ වා.
දැහැමි අය ඒ සියල්ලෙන් වැළකෙන්නෝ ය.
ඔව්හු පාපයෙහි ඇලී ගැලී නොසිටින්නෝ ය.
13ඔබේ මුඛය අශික්ෂිතකමට හා අපිරිසිදුකමට පුරුදු නොකරන්න.
එහි ප්‍රතිඵලය පවිටු කතාව ය.
14ඔබ අධිපතීන් අතරේ හිඳින විට ඔබේ පියා සහ මව සිහි කරන්න.
එවිට ඔබ ඔවුන් ඉදිරියෙහි ඔබේ යුතුකම් අමතක නොකරන්නෙහි ය.
මෝඩයෙකු මෙන් නොහැසිරෙන්නෙහි ය.
ඔබ නූපන්නෙහි නම් යහපතැ යි නොසිතන්නෙහි ය.
ඔබේ උපන් දිනයට සාප නොකරන්නෙහි ය.
15නොහොබින වචන කීමට පුරුදු මිනිසා තම ජීවිත කාලයෙහි දී ම එයින් ඉවත් ව නොයන්නේ ය.

කාමයෙහි වරදවා හැසිරීම

16පව් වැඩි කරන මිනිස්සු දෙවර්ගයක් සිටිති.
තුන් වැනි වර්ගය උදහස ළඟා කර ගන්නෝ ය.
17උදුනක් මෙන් ඇවිලෙන රාගයක් ඇත්තේ ය.
එය තෘප්තිමත් වන තෙක් නිවාදැමිය නොහැකි ය.
ඇතැම් අය තමන්ගේ ළඟ ලේනෑ සබැඳියන් වෙත කාමාශාව යොමු කරන්නෝ ය.
ගින්නෙන් දැවෙන තුරු ම ඔව්හු ඒ ආශාව අත් නොහරින්නෝ ය.
දුරාචාර මිනිසාට සැම ආහාරයක් ම මිහිරි ය, මැරෙන තෙක් ම ඔහු සෑහීමකට පත් වන්නේ නැත.
18තම විවාහ ගිවිසුමට විරුද්ධ ව පව් කරන්නා “මා දකින්නේ කවරෙක් දැ”යි තම සිත තුළ කියාගන්නේ ය.
“අන්ධකාරය මා වට කරයි, බිත්ති මා ආරක්ෂා කරයි, කිසිවෙක් මා නොදකිති;
බිය වන්නේ කුමට ද?
මහෝත්තමයාණන් වහන්සේට මගේ පව් ගැන මතකයක් නැතැ”යි ඔහු කියන්නේ ය.
19ඔහු බිය වන්නේ මිනිසාගේ ඇස්වලට ය.
සමිඳුන්ගේ නෙත් සූර්යයාට වඩා දස දහස් ගුණයක් දීප්තිමත් බව ඔහු නොදනියි.
උන් වහන්සේගේ නෙත් මිනිසාගේ සියලු ක්‍රියා දකින්නේ ය.
ඉතා රහස් මුලුවලට පවා ඒ නෙත් එබී බලන්නේ ය.
20සියලු දේ මවන්නට පෙර උන් වහන්සේ ඒවා දැනගත් සේක.
එය මවනු ලැබූ පසු ද උන් වහන්සේ එය දන්න සේක.
21මේ මිනිසා මුළු නුවර ඉදිරිපිට දී දඬුවම් කරනු ලබන්නේ ය.
ඔහු බලාපොරොත්තු නොවන අවස්ථාවක දී හදිසියෙන් අල්ලාගනු ලබන්නේ ය.

පරපුරුෂ සේවනය කරන්නී

22තම පුරුෂයාට අවිශ්වාස වූ ද පරපුරුෂයෙකුගෙන් ඔහුට උරුමක්කාරයෙකු දෙන්නා වූ ද ස්ත්‍රිය ගැනත් එසේ ම ය.
23පළමු ව ඈ මහෝත්තමයාණන් වහන්සේගේ නීතියට අකීකරු වූවා ය;
දෙවනු ව ඈ තම පුරුෂයාට අවිශ්වාස ව සිටියා ය;
තුන්වනු ව ඈ පරපුරුෂ සේවනයෙන් තමා දූෂ්‍ය කරගත්තා ය;
අන් පුරුෂයකුගෙන් දරුවකු පිළිසිඳගත්තා ය.
24ඈ සභාව ඉදිරියට ගෙනයනු ලබන්නී ය.
ඇගේ දරුවන් ගැන පරීක්ෂණයක් කරනු ලබන්නේ ය.
25ඇගේ දරුවෝ මුල් නොඅදින්නෝ ය.
ඇගේ අතු ඵල නොදරන්නේ ය.
26ඈ සාප ලත් ස්මරණයක් තබා යන්නී ය.
ඇගේ ලජ්ජාව කිසි කලෙක මකාදමනු නොලබන්නේ ය.
27සමිඳුන්ට ගරුබිය පෑමට වඩා වටිනා දෙයක් නොමැති බව ද සමිඳුන්ගේ පනත්වලට ඇලුම් ව සිටීමට වඩා ප්‍රසන්න දෙයක් නොමැති බව ද ඈට පසු ව එන අය දැනගන්නෝ ය.