මංගල ගීයක්

1අපේ ශක්තිය වන දෙවිඳුන්ට ඉමහත් ප්‍රීති හඬ නඟන්න;

ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.
2ගී ගයා කිකිණි රබන් ගසන්න;
මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න.
3අමාවක දවසේ දී ද පසළොස්වක දවසේ දී ද අපේ මහා මංගල දවසේ දී ද හොරණෑව පිඹින්න.
4එය ඉශ්රායෙල් ජනයාට නීතියක් වන්නේ ය;
ජාකොබ්ගේ දෙවිඳුන් පැනවූ නියෝගයක් වන්නේ ය.
5ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක.
නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි:
6“මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි;
ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි.
7විපතේ දී ඔබ අඬගැසුවහු ය;
මම ඔබ නිදහස් කෙළෙමි.
මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි.
මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි.
8අහෝ මාගේ සෙනඟෙනි!
මා ඔබට විරුද්ධ ව අනතුරු අඟවන විට මට සවන් දෙන්න;
අහෝ ඉශ්රායෙල්වරුනි!
ඔබ මට සවන් දෙන්නහු නම්, කොපමණ යහපත් ද?
9ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය;
විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය.
10මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි.
ඔබේ මුව හොඳින් විවර කරන්න;
එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි.
11එහෙත්, මාගේ සෙනඟ මාගේ හඬට සවන් නුදුන්නෝ ය.
ඉශ්රායෙල්වරු මට කීකරු නො වූ හ.
12ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි.
එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය.
13මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද?
14එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි;
ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි.
15සමිඳුන් හට වෛර කරන්නෝ එතුමන් අබිමුව බියෙන් පැකිළෙන්නෝ ය.
ඔවුන්ගේ විපත සදහට ම තිර වන්නේ ය.
16එතුමාණෝ ඉස්තරම් ධාන්‍යයෙන් ඔබ පෝෂණය කරන සේක.
වන මී පැණියෙන් මම ඔබ සෑහීමට පත් කරන්නෙමි.”