අස්වැන්න ගීයක්

1දෙවිඳාණෝ අප වෙත දයාව පෙන්වමින් අපට ආශීර්වාද කරන සේක් වා!

ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවන සේක් වා!
2එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය;
සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය.
3අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා!
සියලු ජාතීහු ඔබ පසසත් වා!
4ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක;
මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක;
එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා!
5අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා!
සියලු ජාතීහු ඔබ පසසත් වා!
6පොළොව පලදාව බහුල ව නිපදවිය;
දෙවිඳාණෝ, අපේ දෙවිඳාණෝ, අපට ආසිරි දුන් සේක.
7අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා!
පොළෝ වැසි සියල්ලෝ එතුමන්ට ගරු කරත් වා!