සුවය පතා යැදුම

1සමිඳුනි, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව;

දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව.
2සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව;
මාගේ ඇටකටු පොඩි වී ඇත;
මා සුව කළ මැනව.
3මම මුළුමනින් ම කැළඹී සිටිමි;
සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද?
4සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න;
ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න.
5මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය;
පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය.
6මම සෝදුකින් වෑරී සිටිමි.
හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත;
කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත;
7වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත;
සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත.
8සියලු පවිටුනි, මා වෙතින් යන්න;
මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක.
9සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක;
එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක.
10මාගේ සියලු සතුරෝ පරාජය වී ලජ්ජාවට පැමිණෙත් වා!
හදිසියෙන් ම වියවුල් වී ආපසු හැරී යත් වා!