විනිසකරුවන්ගේ විනිසකරුවාණෝ

1බලවතුනි, ඔබ සාධාරණ තීන්දු දෙන්නහු ද?

නායකයෙනි, ඔබ යුතු ලෙස සෙනඟ පාලනය කරන්නහු ද?
2එහෙත්, ඔබ එසේ නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගන්නහු ය;
නීතියට පිටුපා සැහැසිකම් කරන්නහු ය.
3දුදනෝ මවු කුස පටන් නොමඟ යන්නෝ ය;
උපන් දා සිට ම ඔව්හු බොරු කියන්නෝ ය.
4ඔවුන්ගේ වස විස සර්ප විස මෙන් වන්නේ ය.
ඔව්හු කන් බිහිරි කරගත් පොළඟුන් වැනි ය.
5එවැන්නෝ නයි නටවන්නන්ගේ හඬට කන් නොදෙති;
මතුරන්නන්ගේ මැතිරීමට සවන් නොදෙති.
6අහෝ දෙවිඳුනි!
ඔවුන්ගේ මුඛයේ දත් පොඩි කළ මැනව;
මේ සිංහ පෝතකයන්ගේ දළ බිඳ දැමුව මැනව.
7ඔව්හු වේගයෙන් ගලා යන වතුර මෙන් පහ ව යත් වා!
පයට පෑගුණ තණ මෙන් වියළී යත් වා!
8සෙවලෙහි ම දිරා යන ගොළුබෙල්ලන් මෙන් ඔව්හු දිරා යත් වා!
මියගිය කළල රූප මෙන් ඔව්හු ඉරු එළිය නොදකිත් වා!
9ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා!
කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!
10පවිටුන්ට දඬුවම් ලැබෙන විට දැහැමියා ප්‍රීති ප්‍රමෝද වන්නේ ය.
දුදන ලෙයින් ඔහු තම පා සෝදා ගන්නේ ය.
11එවිට සෙනඟ මෙසේ කියති:
“දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය;
මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.”