අන්තරායෙන් මිදීමට යැදුමක්

1අහෝ දෙවිඳුනි, ඔබ නාමයේ අනුහසින් මා මුදාලුව මැනව;

ඔබ බල මහිමයෙන් මා නිදහස් කළ මැනව;
2දෙවිඳුනි, මාගේ යැදුමට සවන් දුන මැනව;
මා පවසන වදනට ද සවන් දුන මැනව.
3විදේශිකයෝ මට විරුද්ධ ව නැඟිට්ටෝ ය;
සාහසිකයෝ මා මරන්නට සෙවුවෝ ය.
මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝ ය.
4දෙවිඳාණෝ මාගේ සහායට වඩින සේක;
සමිඳාණෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක.
5මාගේ සතුරන් මට කළ නපුර ඔවුන්ට ම පල දේ වා!
තම විශ්වාසවන්තකම නිසා එතුමාණෝ ඔවුන් සහමුලින් ම වනසාලන සේක් වා!
6තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි.
සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.
7එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක.
මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.