දෙව් නුවර තේජස

1අප දෙව් නුවර වන එතුමන්ගේ ශුද්ධ කන්දෙහි හිමි තුමාණෝ උදාර ය.

විපුල පැසසුම් ලද යුතු ය.
2උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය;
මුළු පොළොවට පියකරු ය.
3නුවර බලකොටු ඇතුළෙහි සුරැකි ව විසිය හැකි බව, දෙවි තුමන් පෙන්වා දී ඇත.
4රජවරුන් රාශිභූත ව, නුවරට එරෙහි ව සටනට යන හැටි නරඹන්න;
5ඔව්හු එනුවර නරඹා විස්මිත වූ හ;
බියෙන් තැති ගෙන පලා ගියහ;
6ඔව්හු බියෙන් හා සන්තාපයෙන් ඇලළී, ප්‍රසූතියට ළං වූ කතුන් මෙන් වූ හ;
7තද කුණාටුවට අසු වී, සැලෙන, පෙරළෙන මහ නැව් මෙන් වූ හ.
8අප පෙර කල ඇසූ විලස, සව් බලැති සමිඳාණන් සිය නුවරෙහි සිදු කළ දෙය අපේ ම දෙනෙතින් දුටිමු.
එතුමාණෝ එනුවර සදහට ම රක්නා සේක.
9දෙවිඳුනි, ඔබ මැදුරෙහි ඔබේ තිර පෙම්කඳ අපි සිහි කෙළෙමු.
10දෙවිඳුනි, ඔබට හිමි ගරු පැසසුම් දස දෙසින් ඔබ වෙත නැඟී එයි.
ඔබේ කිතු ගොස පොළොව පුරා පැතිර ඇත.
ඔබ සාධාරණ ලෙස රජ කරන සේක.
11ඔබේ සාධාරණ විනිසයන් නිසා සියොන් කන්දේ වැසියෝ සතුටින් පිනා යත් වා!
ජුදාහි නුවරවල ප්‍රීති ගීත ඇසේ වා!
12මතු පරම්පරාවලට කරුණු කියන පිණිස සියොන් පව්ව වටේ ඇවිද බලන්න;
13එහි කොටු පවුරු හොඳින් බලා ගණන් කරන්න;
මාලිගා සෝදිසි කරන්න.
14මේ දෙවිඳාණෝ සදහට ම අපේ දෙවිඳාණෝ ය;
“ඉර හඳ පවතින තුරු එතුමාණෝ අපට මඟපෙන්වන සේකැ”යි කියන්න.