දහ දුක් විඳින්නෙකුගේ යාදින්න

1සමිඳුනි, උදහස් වී මට තරවටු නොකළ මැනව;

කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව.
2ඔබ ඊගසින් විද මට තුවාළ කොට ඇත;
බලවත් ලෙස මා තළා පෙළා ඇත.
3ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි;
මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත.
4මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත;
ඒවා දැරිය නොහැකි බරක් වී ඇත.
5මාගේ මෝඩකම් හේතුකොටගෙන මාගේ තුවාළ දුර්ගන්ධ ව, පිළිකුල් ව ඇත.
6වේදනා විඳිමින්, කුදුගැසී වැතිර සිටිමි.
දවස පුරා වැලපෙමින් කල් යවමි.
7උණෙන් මාගේ තුනටිය දැවෙයි.
මාගේ ඇඟපතට කිසි සුවයක් නැත.
8මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි;
සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි.
9සමිඳුනි, මාගේ මුළු ආශාව ඔබ දන්න සේක;
මාගේ සුසුම්ලෑම ඔබට ඇසේ.
10මාගේ පපුව ගැහෙයි;
කාය ශක්තිය හීන වේගන යයි;
ඇස් ද ඇඳිරි වේගන යයි.
11අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති;
මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.
12මා මැරීමට සොයන අය මට උගුල් අටවා ඇත;
මට අනතුරු කරන්න සොයන අය නපුරු දේ කිය කියා දවස පුරා කූට උපා යොදති.
13බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත;
ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත.
14මට කන් නොඇසෙන නිසා මම පිළිතුරු දිය නොහැකි මිනිසෙකු හා සමාන ය.
15සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය.
මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය.
16මාගේ දුක ගැන ප්‍රීති වන්නට සතුරන්ට ඉඩ නුදුන මැනව;
මාගේ වැටීම ගැන උදන් ඇනීමට ද ඉඩ නුදුන මැනව.
17මාගේ වැටීම ඉතා ළඟ ය;
මාගේ වේදනාවට කෙළවරක් නැත.
18මම පාපය ගැන උච්චාරණය කරමි;
ඒ ගැන ළතැවෙමි.
19මාගේ සතුරෝ සනීප ශක්තියෙන් සිටිති;
නිකරුණේ මට වෙර බඳින අය වැඩි වේගන එති.
20යහපතට නපුර කරන අය, මා හරි දේ කරන බැවින් මට සතුරු වී සිටිති.
21සමිඳුනි, මා අත්නෑරිය මැනව.
මාගේ දෙවියෙනි, මා කෙරෙන් ඈත් නොවුව මැනව.
22මාගේ ගැළවුම්කාර සමිඳුනි, මට පිහිට වන පිණිස වහා වැඩිය මැනව.