විමුක්ති ඉතිහාසය ගැන ප්‍රශංසා

1දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න.

ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි.
2වීණාව වයා හිමි තුමන් පසසන්න;
තත් දසයේ වීණාව ගෙන එතුමන්ට පැසසුම් ගීත ගයන්න.
3එතුමන්ට නව ගීතයක් නඟන්න;
මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න.
4සමිඳුන්ගේ වචනය අවංක ය;
එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.
5දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය.
මහ පොළොව හිමි තුමන්ගේ කරුණාවෙන් පිරී ඇත.
6හිමි තුමන්ගේ වචනයෙන් ආකාශය ද එතුමන්ගේ හුස්මෙන් සියලු ආකාශ වස්තූහු ද මවනු ලැබූ හ.
7එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක;
ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක.
8මුළු මහ පොළොව හිමි තුමන්ට බිය වේවා.
සියලු ලෝ වැසියෝත් එතුමන්ට බියෙන් සිටිත් වා!
9මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක;
ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක.
10හිමි තුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක;
මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක.
11එහෙත්, සමිඳුන්ගේ සැලසුම් සදහට ම ද එතුමන්ගේ සිතිවිලි පරපුරෙන් පරපුරට ද පවත්නේ ය.
12සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය.
13හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක;
මුළු මිනිස් සංහතිය දක්නා සේක.
14එතුමාණෝ සිය මන්දිරයෙහි සිට ලෝවැසි සියල්ලන් දෙස බලන සේක.
15ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය.
16චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත;
තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත.
17ස්වාරක්ෂාව පිණිස යුද්ධ අශ්වයෙකුගෙන් වැඩක් නැත;
උගේ මහත් බලයෙන් ඌ කිසිවෙකු නොගළවයි.
18සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය;
මරණයෙන් ගළවන පිණිස ද
19දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.
20අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු.
අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය.
21අපි එතුමන්ගේ සුවිශුද්ධනාමය කෙරේ විශ්වාසය තැබුවෙමු.
එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිනා යයි.
22සමිඳුනි, ඔබ කෙරේ අපේ බලාපොරොත්තු පිහිටෙවු ලෙස ම ඔබේ කරුණාව අප කෙරෙහි වේ වා!