දෙවි සරණ අයැදීම

1සමිඳුනි, ඔබට හඬගසමි, මාගේ පර්වත රාජයාණෙනි, මට සවන් නො දී නොසිටිය මැනව.

ඔබ නිහඬ වුවහොත්, මාත් පාතාලයට බැස යන්නවුන්ගෙන් කෙනෙකු වනු ඇත.
2මා ඔබට හඬ නඟන කල ද ඔබේ ශුද්ධස්ථානය දෙසට මාගේ දොහොත් මුදුන් තබන කල ද මාගේ යාදිනි හඬට කන් දුන මැනව.
3සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපණත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව.
4ඔවුන්ගේ ක්‍රියාවල හැටියට ද දුෂ්ට කල්ක්‍රියා අනුව ද ඔවුන්ට පල විපාක දුන මැනව;
ඔවුන් කළ දේ අනුව ඔවුන්ට පල විපාක දුන මැනව.
5ඔවුන් සමිඳුන්ගේ ක්‍රියා හෝ එතුමන්ගේ නිර්මාණ හෝ නොසලකන බැවින්, එතුමාණෝ ඔවුන් සදහට ම සුණු විසුණු කරන සේක;
යළි නොපිහිටුවන සේක.
6සමිඳුන් හට ප්‍රශංසා වේ වා!
මන්ද, එතුමාණෝ මාගේ යාදිනි හඬට සවන් දුන් සේක.
7සමිඳාණෝ මාගේ ශක්තිය ය;
මාගේ පලිහ ය.
මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි;
මම පිහිට ලදිමි.
එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි;
මම එතුමන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.
8සමිඳාණෝ සිය සෙනඟගේ ශක්තිය ය.
එතුමාණෝ සිය රාජාභිෂේකය දුන් අයට විමුක්තියේ බලකොටුව වන සේක.
9ඔබේ සෙනඟ මුදා, ඔබේ ආවේණික සෙනඟට ආසිරි දුන මැනව;
ඔවුන් පෝෂණය කොට සදහට ම රැකබලාගත මැනව.