බැගෑපත් යැදුමක්
1සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව.
මාගේ කන්නලව්වට සවන් දුන් මැනව.
ඔබේ සත්‍යවාදීකමින් ද ධර්මිෂ්ඨකමින් ද මට පිළිතුරු දුන මැනව.
2ඔබේ දාසයා විනිශ්චයට ගෙන නොගිය මැනව.
ඔබ අබිමුව නිදොස් කෙනෙක් මෙදියත නැත.
3සතුරා මට පීඩා කෙළේ ය.
ඔහු මට පහර දී මා බිම හෙළුවේ ය.
ඔහු මා අඳුරු තැනකට දැමුවේ ය.
මම බොහෝ කලකට පෙර මළ කෙනෙකු මෙන් වීමි.
4එබැවින් ම සිත අඩපණ වී ඇත.
මාගේ හද තුළ කිසි සැනසුමක් නැත.
5යටගිය දවස් මම සිහි කරමි;
ඔබේ සියලු ක්‍රියා ගැන භාවනා කරමි;
ඔබ කළ දේ ගැන මෙනෙහි කරමි.
6මාගේ දොහොත් මුදුන් දී ඔබෙන් අයැදිමි;
මාගේ සිත වියළි බිමක් මෙන් ඔබ කෙරෙහි පිපාසිත වේ.
7සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව.
මාගේ සිත අඩපණ වී ඇත.
පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
8උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව.
මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි.
මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව.
ඔබ දෙස මාගේ සිත ඔසවමි.
9සමිඳුනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙව්ව මැනව.
රැකවරණය පිණිස මම ඔබ වෙත දුවගෙන එමි.
10ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව.
ඔබ මාගේ දෙවිඳාණෝ ය.
ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.
11සමිඳුනි, ඔබේ නාමයේ ගෞරවය උදෙසා මා ආරක්ෂා කළ මැනව.
ඔබේ ධර්මිෂ්ඨකම නිසා මා විපතින් මිදුව මැනව.
12ඔබේ අධික ප්‍රේමයෙන් මා සතුරන් සිඳදැමුව මැනව.
මට පීඩා කරන සියල්ලන් විනාශ කළ මැනව.
මන්ද, මම ඔබේ මෙහෙකරු වෙමි.