දැහැමියන්ගේ වාසනාව

1සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය.

2ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය.
දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය.
3සම්පත ද වස්තුව ද ඔහුගේ නිවෙසෙහි ඇත්තේ ය.
ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය.
4සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය;
ඔහු දයාවන්ත ය;
සානුකම්පිත ය;
දැහැමි ය.
5දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ;
ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.
6මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය.
ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.
7ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය.
ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය.
ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය.
8ඔහුගේ සිත සවිමත් ය;
ඔහු බිය නොවන්නේ ය.
සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය.
9ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය;
ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය;
ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.
10දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය;
ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය;
දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය.