දූෂ්‍ය වූ සෙනඟ නිසා විලාප කීම
1අනේ මා වැනි කාලකණ්ණියෙක්. ගිම්හානයේ පල රැස් කරන්නා ද මිදි පල නෙළන්නා ද වැනි ය. මන්ද, කන්න එක ම මිදි පොකුරක් වත් මා ආසා කරන අත්තික්කාවල නාඹුල් පල වත් නැත. 2දේශයේ කිසි ම අවංක මිනිසෙකු වත්, දේව භක්තිය ඇති කෙනෙකු වත් ඉතිරි වී නැත. සෑම දෙනා ම මිනීමැරීමට බලා සිටිති. එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසු කරගන්නට මාන බලයි. 3වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති. 4ඔවුන්ගෙන් හොඳ ම අය වුව ද කටු ගස් හා සමාන ය. අවංක ම අය වුව ද කටු වැටකටත් වඩා නරක ය.
ඔවුන්ගේ මුරකාරයන් කී දඬුවමේ දවස පැමිණ ඇත. ඔවුන් වියවුල් වන කාලය ආසන්න ය. 5ඔබේ අසල්වැසියා වත්, හිතවත් මිතුරා වත් විශ්වාස නොකරන්න. ඔබේ භාර්යාවගෙන් වුව ද කට ප්‍රවේසම් කරගන්න. 6මේ වනාහි පුත්‍රයා පියාට අගෞරව කරන කාලයකි. දුව ඇගේ මවට විරුද්ධ ව ද ලේලි ඇගේ නැන්දම්මාට එදිරි ව ද නැඟිටින කාලයකි. මිනිසෙකුගේ සතුරෝ සිය පවුලේ අය ම වෙති.
7එහෙත්, මම සමිඳාණන් වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීම වන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්නෙමි. මාගේ දෙවියන් වහන්සේ මට සවන් දෙන සේක.
පාපෝච්චාරණයෙන් බලාපොරොත්තුව ඇති වීම
8මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක. 9මා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් මාගේ පැමිණිල්ල ඉදිරිපත් කර විනිශ්චය ඉටුවන තුරු මම උන් වහන්සේගේ උදහස ඉවසන්නෙමි. අන්තිමේ දී උන් වහන්සේ මාගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කොට ඔවුන්ගෙන් මට සිදු වී ඇති විපත්ති පිළිබඳ විනිශ්චය ඉෂ්ට කරන සේක. උන් වහන්සේ මා ආලෝකයට පමුණුවනු ඇත. මම ද උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම දැක ප්‍රීති ප්‍රමෝද වන්නෙමි. 10“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කොහේ දැ”යි අසා මට සරදම් කළ මාගේ සතුරන් එය දැක ලජ්ජාවට පත් වනු ඇත. ඔවුන්ගේ පරාජයත්, වීථිවල මඩ මෙන් ඔවුන් පාගනු ලැබීමත් මාගේ ඇස්වලින් දකින්නෙමි.
නගරය පුනරුත්ථාපනය කිරීම
11ජෙරුසලම් වැසියෙනි, ඔබේ පවුරු ගොඩනඟන කාලයක් පැමිණෙන්නේ ය. ඒ කාලයේ දී ඔබේ සීමාවන් පළල් කරනු ලබනවා ඇත. 12ඒ කාලයේ දී අසිරියාවේ සිට මිසරය දක්වා ද තීර් සිට ගංගාව දක්වා ද, මුහුදින් මුහුද, කන්දෙන් කන්ද දක්වා ද සිටින ඔබේ සෙනඟ ආපසු පැමිණෙනු ඇත. 13එහෙත් පොළොව, එහි සිටින්නන්ගේ නපුරුකම් නිසා කාන්තාරයක් මෙන් වන්නේ ය.
ඉශ්රායෙල් සමිඳුන්ගේ අනුකම්පාව
14සරුසාර ප්‍රදේශවලින් වට වී, කාන්තාරයක හුදකලා ව සිටින, ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්නුව මැනව.