තවත් පොරොන්දුවක්
1ජෙරමියා හිර ගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරටත් ඔහු වෙත පැමිණියේ ය. 2පොළොව මවා, එය පිහිටුවන පිණිස එය සකස් කළ ස්වාමීන් යන නාමය ඇති තැනැන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක: 3“මට යාච්ඤා කරන්න; එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න, සැඟවී ඇති, වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි. 6එහෙත්, මේ නගරයට මම සුව සෙත ගෙන දෙන්නෙමි. මම සෙනඟ සුවපත් කොට, සාමයෙන්, සුරක්ෂිතතාවෙන් ඔවුන්ට ප්‍රීතිය පෙන්වන්නෙමි. 7ජුදාව ද ඉශ්රායෙලය ද මම මුල දී මෙන් යළිත් ගොඩනඟා, ඒ දෙරටට සෞභාග්‍යය දෙන්නෙමි. 8ඔවුන් මට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු පාපයෙන් මම ඔවුන් පිරිසිදු කරන්නෙමි; මට විරුද්ධ ව පව් කිරීමෙන් ද මට විරුද්ධ ව ද්‍රෝහිකම් කිරීමෙන් ද කළ ඔවුන්ගේ සියලු ම අයුතුකම් ඔවුන්ට කමා කරන්නෙමි. 9මා විසින් ඔවුන්ට කරනු ලබන සියලු යහපත ගැන අසන පොළොවේ සියලු ජාතීන් අතරේ, මේ නගරය මට ප්‍රීතියක් ද ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන්නේ ය; මා ඊට කර දෙන සියලු යහපත හා සමගිය නිසා ඔව්හු බිය වී වෙවුළන්නෝ ය.”
10සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එය සෙනඟ වත්, මෘගයන් වත් වාසය නොකරන කාන්තාරයක් වන්නේ යයි සෙනඟ කියති. ජුදාවේ නගර ද ජෙරුසලමේ වීදි ද හිස් බව සැබෑ ය; එහි සෙනඟ වත්, මෘගයෝ වත් නැත. එහෙත්, මේ තැන්වල යළිත්, 11ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත;
කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
12සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මිනිහෙකු වත්, මෘගයෙකු වත් නැති ව පාළු වී ගිය මේ ස්ථානයෙහි ද මෙහි සියලු නගරවල ද තමන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේ ය. 13කඳු රටේ නගරවල ද පහත රටේ නගරවල ද දකුණු දිශාවේ නගරවල ද බෙන්ජමින්ගේ දේශයෙහි ද ජෙරුසලම අසල ස්ථානවල ද ජුදාහි නගරවල ද එඬේරු රැළවල සිටින බැටළුවන් ගණන් කරන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
14සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟටත් ජුදා සෙනඟටත් මා කළ පොරොන්දුව ඉෂ්ට කරන කාලය පැමිණෙන්නේ ය. 15ඒ දවස, ඒ අවදිය පැමිණි විට සැබෑ ලෙස දාවිත්ගේ පරපුරෙන් පැවත එන දැහැමි උතුමෙකු මම නැඟුටුවන්නෙමි. එතුමාණෝ දේශය මුළුල්ලේ සාධාරණ ව, යුක්තිසහගත ව කටයුතු කරන සේක. 16ඒ කාලය පැමිණි විට ජුදාහි වැසියෝ ගළවනු ලබන්නෝ ය; ජෙරුසලමේ වැසියෝ ද සුව සේ වාසය කරන්නෝ ය. ඔවුන් සිය දේශයට දෙන නාමය, ‘සමිඳාණන් වහන්සේ අපේ මිදුම්කාරයාණෝ ය’ යනුයි. 17ඉශ්රායෙල්හි රජ වන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනකු නැඟී එන බවට මම පොරොන්දු වෙමි. 18එසේ ම, මා ඉදිරියෙහි දවන යාග පූජා, ධාන්‍ය පූජා හා නිරතුරු යාග පූජා ඔප්පු කිරීමටත් ලෙවී පූජක වංශයේ පූජකයන්ගේ අඩුවක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
19සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක: 20“දවාලත්, රාත්‍රියත් නියම වේලාවට නොපැමිණෙන ලෙස දවාලත්, රාත්‍රියත් සමඟ මා කර ඇති ගිවිසුම අවලංගු කිරීමට නුඹලාට පුළුවන්කමක් නැත. 21එලෙස ම ඉශ්රායෙල්හි රජකම් කරන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු නැඟී එන බවට මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟ මා කළ ගිවිසුමත්, මාගේ සේවක පූජකයන් වන ලෙවීවරුන් සමඟ මා කළ ගිවිසුමත් අවලංගු කිරීමට පුළුවන්කමක් නැත. 22ගණන් නොකළ හැකි තරම් අහසේ තරු ද මුහුදේ වැලි ද මෙන් මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශය ද මට සේවය කරන ලෙවීවරුන් ද මම වැඩි කරන්නෙමි.”
23සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක: 24“සමිඳාණන් වහන්සේ තෝරාගත් වංශ දෙක උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේකැ”යි මේ සෙනඟ කියනු නුඹ නොදන්නෙහි ද? එබැවින් ඔව්හු මාගේ සෙනඟ හෙළා දකිමින් ඔවුන් ජාතියක් වශයෙන් නොසලකති. 25එහෙත්, ස්වාමීන් වන මම දවාලත්, රාත්‍රියත් සමඟ ද අහසත්, පොළොවත් මෙහෙයවන නීති රීති සමඟ ද ගිවිසුමක් පිහිටෙව්වෙමි.
26“මා එය ස්ථිර ලෙස කළාක් මෙන් ජාකොබ්ගේ පරපුර සමඟත්, මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟත් මා කළ ගිවිසුම මම නොකඩවා ස්ථිරව ම පවත්වන්නෙමි. ආබ්‍රහම්ගෙන් ද ඊසාක්ගෙන් ද ජාකොබ්ගෙන් ද පැවත එන්නන් කෙරෙහි රජකම් කරන පිණිස දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු මම තෝරාගතිමි. මාගේ සෙනඟ මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මම ඔවුන්ට අනුකම්පා කරන්නෙමි.”