1රෑ බෝවී තිබුණු හෙයින් ඔහුගේ උසස් මුලාදෑනීහු කඩිනමින් බැහැර ගියෝ ය. බගොවස් තම ස්වාමීන් ළඟ තව ම පමාවෙමින් සිටි අය ඉවතට යන්නට සලසා කූඩාරම පිටතින් වසාදැමුවේ ය. 2අධික මද්‍ය පානයෙන් වෙහෙසට පත් ව සිටි ඔව්හු නින්දට ගියෝ ය. මුද්‍රික පානයෙන් තදින් වෙරිමත් වී යහන පිට දිගා වී සිටි හොලෝපර්නස් සමඟ ජුදිත් පමණක් කූඩාරමෙහි සිටියා ය. 3එවිට ජුදිත් තම මෙහෙකාරියට කතා කොට සෑම දිනක ම කළාක් මෙන් තමා පිටතට එන තෙක් බලාගෙන සයනාගාරය ළඟ පිටතින් සිටින්ට ඈට අණ කළා ය. තමා යාච්ඤා කිරීමට පිටතට යන බවත් ඈ මෙහෙකාරියට ඇඟවූවා ය. බගොවස්ට ද ඈ මේ දේ කියා තිබුණේ ය.
4සියලු දෙනා හොලෝපර්නස් වෙතින් ඉවතට ගොස් සිටියහ. වැදගත් හෝ නොවැදගත් හෝ කිසිවෙක් සයනාගාරයෙහි ඉතිරි නො වී ය. යහන ළඟ සිටගෙන ජුදිත් තමා තුළ ම මෙසේ කියා ගත්තා ය.
6මෙසේ කියාගනිමින් ඈ හොලෝපර්නස්ගේ හිස ළඟ යහන් කණුවට ළඟා වී ඔහුගේ කෙටි වකුටු කඩුව ලිහා, 7යහනට කිට්ටු වී ඔහුගේ කේශ කලාපය අල්ලාගෙන, “සමිඳාණන් වහන්ස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්ස, මේ දවසේ දී මා ශක්තිමත් කළ මැනවැ”යි කීවා ය. 8ඈ දෙවරක් ඔහුගේ බෙල්ලේ කුලල් සන්ධියට මුළු ශක්තියෙන් පහර දී ඔහුගේ හිස ගසාදැමුවා ය.
හොලෝපර්නස්ගේ හිස බෙතුලියාවට රැගෙන යාම
11ජුදිත් දුර සිට ම දොරටු පාලයන්ට කෑගසා, “දොරටුව අරින්න, අරින්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේ අද පෙන්වා දී තිබෙන පරිදි උන් වහන්සේගේ ශක්තිය ඉශ්රායෙල්හි විදහා පාමින් ද අපේ සතුරන්ට විරුද්ධ ව තම ශක්තිය දක්වමින් ද තමන් ම අප සමඟ වැඩ සිටින සේකැ”යි කීවා ය. 12ඇගේ කටහඬ ඇසූ නුවර වාසීහු තමන්ගේ නුවර දොරටු ළඟට හනික බැස ගොස් ප්‍රජා මූලිකයන් කැඳෙවුවෝ ය. 13ලොකු කුඩා සියලු දෙනා දිව ගියහ. මන්ද, ඔවුන් ඇගේ පැමිණීම බලාපොරොත්තු නොවූ හෙයිනි. ජනයා දොරටු ඇර ස්ත්‍රීන් දෙදෙන ගෞරවාදරයෙන් පිළිගෙන ආලෝකය සඳහා ගින්නක් දල්වා ඔවුන් අවට රැස් වූ හ. 14ජුදිත් මහත් සේ ශබ්ද නඟා ඔවුන්ට කතා කොට, “දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. උන් වහන්සේ පසසන්න. ඉශ්රායෙල් වංශය කෙරෙන් තම දයාව ඉවත් නොකර මේ රාත්‍රියේ දී මාගේ හස්තයෙන් සතුරන් සිඳබිඳදැමූ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කීවා ය. 15ඉන්පසු ඈ මල්ලෙන් හිස එළියට ඇද එය ඔවුන්ට පෙන්වමින් මෙසේ කීවා ය: “අසිරියන්වරුන්ගේ හමුදාවේ ප්‍රධාන අධිපතියා වූ හොලෝපර්නස්ගේ හිස මෙන්න. ඔහු වෙරිමත් වී වැටී සිටි තැනට ඉහළින් වූ වියන මෙන්න. සමිඳාණන් වහන්සේ ඔහුට ස්ත්‍රියකගේ අතින් පහර දුන් සේක. 16මාගේ ක්‍රියාවෙහි දී මා ආරක්ෂා කළ සමිඳාණන් වහන්සේට මහිමය වේ වා! මාගේ මුහුණෙන් ඔහු තමාගේ විනාශය සඳහා පමණක් පොළඹනු ලැබුවේ ය. මා ලජ්ජාවට පත් කිරීමට හෝ මට අපකීර්තියක් සිදු කිරීමට හෝ ඔහු මා සමඟ පාපයක් නොකෙළේ ය”යි කීවා ය.
17කිව නොහැකි උද්‍යෝගයකින් ඇලළී ගිය මුළු සෙනඟ මුණින්තලා වැටී දෙවියන් වහන්සේට වන්දනා නමස්කාර කරමින් එකහෙළා හඬ නඟා, “අපේ දෙවියන් වහන්ස, අද ඔබේ සෙනඟගේ සතුරන් සහමුලින් විනාශ කළ ඔබ හට ප්‍රශංසා වේ වා”යි කී හ. 18උසියා එවිට ජුදිත් අමතා මෙසේ කීවේ ය: