ජුදිත් හොලෝපර්නස්ගේ කඳවුරට යෑම
1ජුදිත් මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වෙතට හඬ නැඟුවා ය. 2තම යාච්ඤාව නිම කළ පසු ඈ මුණින් වැටී, හුන් තැනින් නැඟිට, තම මෙහෙකාරිය කැඳවා, සබත් දිනවල දී හා මංගල දිනවල දී ඈ නැවතුණු කාමර පෙළට බැස ගියා ය. 3එහි දී තමා හැඳ සිටි ගෝනි රෙදි ගලවා කනවැන්දුම් ස්ත්‍රීන් අඳින වස්ත්‍ර ඉවත් කොට හොඳින් ස්නානය කොට වටිනා සුගන්ධ තෛලයෙන් ආලේප වී විසිතුරු ලෙස වරලස පීරා මුතු මැණික් එබ්බ වූ හිස් වෙළුමක් පැළඳගෙන ඇගේ ස්වාමි පුරුෂයා වූ මනස්සේ ජීවත් ව සිටිය දී තමා භාවිත කළ මංගල ඇඳුමෙන් සැරසුණා ය. 4ඈ තම පාදවල මිරිවැඩි සඟලක් දමා තම මාල ද වළලු හා මුදු ද කඩුක්කම් ද සියලු ආභරණ ද පැළඳගෙන දකින කවරකුගේ වුවත් බැලීම වශී කරගන්නට හැකි වන ලෙස තමා අලංකාර කරගත්තා ය. 5ඉන්පසු ඈ මිදි පැනින් යුත් සම් භාජනයක් හා තෙල් කුප්පියක් ද යව පිටියෙන් පිළියෙළ කරන ලද තුනී රොටිවලිනුත් වියැළි ගෙඩිවලිනුත් සෑදූ රොටිවලිනුත්, පවිත්‍ර පූපවලිනුත් පිරුණු මල්ලක් ද යන මේ සියලු කෑම බීම අහුරා සකස් කර තම මෙහෙකාරියට දුන්නා ය. 6ඉන්පසු ඔව්හු පිටත් ව බෙතුලියාවේ වාසල දොරටුව දෙසට ගියෝ ය. ඈ බලාපොරොත්තුවෙන් එහි සිටි උසියා ද නුවර ප්‍රජා මූලිකයන් වූ චබ්රිස් හා චර්මිස් ද ඔවුන්ට හමු වූවෝ ය. 7ඔවුන් ජුදිත් දුටු විට වෙනස් ඇඳුම්වලින් සැරසී සිටින හෙයින් ද, ඇගේ මුහුණ සම්පූර්ණයෙන් වෙනස් වී තිබුණු හෙයින් ද, ඇගේ රූපශ්‍රීය දුටු ඔව්හු මහත් විස්මයෙන් තුෂ්ණිම්භූත වූවෝ ය. 8ඔව්හු ඈට කතා කොට,
9ජුදිත් දෙවියන් වහන්සේට නමස්කාර කළ පසු ඔවුන්ට කතා කොට, “මා පිටතට ගොස් ඔබ දැන් මට ප්‍රකාශ කළ සියලු ආශාවන් ඉටු කරන්නට හැකි වන පිණිස නුවර දොරටුව ඇර තබන්නැ”යි කීවා ය. ඈ ඉල්ලා සිටි ප්‍රකාර ඈට දොරටුව අරින ලෙස ඔව්හු තරුණ මුරකාරයන්ට අණ කළෝ ය. 10ඔව්හු ද එසේ ම කළහ. එවිට ජුදිත් තම මෙහෙකාරිය සමඟ පිටතට ගියා ය. ඈ කන්දෙන් බැස මිටියාවත හරහා යන තෙක් ම නුවර වැසියෝ ඈ දෙස බලා සිටියෝ ය. ඉන්පසු ඈ ඔවුන්ට නොපෙනී ගියා ය.
11ජුදිත් සහ මෙහෙකාරිය මිටියාවතෙහි කෙළින් ම ගමන් කරමින් සිටින විට, 12අසිරියවරුන්ගේ මුර පිරිසක් ඔවුන් හමු වීමට ගොස් ජුදිත් අල්ලා ඇගෙන් “ඔබ කොයි පක්ෂයට අයිති ද? ඔබ ආයේ කොහින් ද? ඔබ යන්නේ කොහි දැ?”යි ප්‍රශ්න කළෝ ය. ඈ උත්තර දෙමින්, “මම හෙබ්‍රෙව්වරුන්ගේ දුවක්මි. මම ඔවුන් කෙරෙන් පලා යමි, මන්ද, වැඩි කල් යන්නට පෙර ඔවුන් ඔබේ ගොදුර වන හෙයිනි. 13ඔබේ හමුදාවේ ප්‍රධානියා වන හොලෝපර්නස් හමු වී විශ්වාසදායක කරුණු ඔහුට දැන්වීම සඳහා මම ඔහු වෙත යමි. එක මිනිසෙකු වත් ජීවිතයක් වත් නැති වන්නට ඉඩ නො දී මුළු කඳුකරය යටත් කරගැනීමට ඔහු යා යුතු මාර්ග මම ඔහුට පෙන්වා දෙන්නෙමි”යි කීවා ය.
14ඈ කී දෙයට සවන් දුන් මිනිස්සු ඇගේ සිත්ගන්නා සුලු රූපශ්‍රීය දෙස බලා මවිතයට පත් වූවෝ ය. 15ඔව්හු ඈට කතා කොට, “අපේ ස්වාමීන් හමු වීමට ඔබේ කැමැත්තෙන් ම මෙසේ බැස යෑම ඔබේ ගැළවීම වන්නේ ය. එහෙයින් ඔහුගේ කූඩාරමට ගොස් ඔහු හමු වන්න. අපේ මිනිසුන්ගෙන් සමහරෙකු ඔබ සමඟ ගොස් ඔබ ඔහුගේ අතට පවරා දෙනු ඇත. 16ඔබ ඔහු ඉදිරියට පැමිණි කල නොබිය ව සිටින්න. ඔබ අපට කී දේ ඔහුට ද නැවත කියන්න, ඔහු ඔබ ගැන සැලකිල්ලක් දක්වනු ඇතැ”යි කීවෝ ය. 17ඉන්පසු ඔව්හු ඈ හා ඇගේ මෙහෙකාරිය කැටුව ගොස් ඔවුන් හොලෝපර්නස්ගේ කූඩාරම කරා පමුණු වන පිණිස තමන්ගේ මිනිසුන්ගෙන් එක සිය දෙනෙකුට නියම කළෝ ය. 18ඇගේ පැමිණීමේ පුවත කූඩාරම් අතර පැතිර ගිය විට කඳවුරෙහි මහත් කලබලයක් ඇති විය. හොලෝපර්නස්ට හඳුන්වා දෙනු ලැබීමේ බලාපොරොත්තුවෙන් ඈ ඔහුගේ කූඩාරමෙන් පිටත සිටිය දී මහත් සමූහයක් ඈ අවට රැස්වූවෝ ය. 19ඔව්හු ඇගේ විස්මයජනක රූප ශෝභාව ගැන ප්‍රසාදය දක්වමින් ඈ නිසා ඉශ්රායෙල් ජනයා ද අගේ කොට සලකන්නට පටන්ගත්තෝ ය. “තමන් අතර මෙබඳු ස්ත්‍රීන් ඇති සෙනඟක් හෙළා දකින්නට හැකි වනුයේ කාට දැ”යි ඔව්හු කීවෝ ය. “ඔවුන් අතරෙන් එක මිනිසෙකු වත් පණපිටින් ඉතිරි කිරීම නුවණට හුරු නොවේ. නොමැරී ඉතිරි වන අයට මුළු ලෝකය වසඟ කරගන්නට හැකි වනු ඇතැ”යි ඔව්හු තවදුරටත් කීවෝ ය.
20එවිට හොලෝපර්නස්ගේ ආරක්ෂක පිරිස ද ඔහුගේ සහකාර මුලාදෑනිහු ද පිටතට අවුත් ජුදිත් කූඩාරම තුළට කැඳවාගෙන ගියෝ ය. 21හොලෝපර්නස් මරකතවලින් හා වටිනා මැණික් ගල්වලින් හෙබි රත් නිල් හා රන්මුවා වියනක් යට තිබුණු යහනක හාන්සි වී හුන්නේ ය. 22ඈ පැමිණි බව ඔහුට සැළ කරන ලදි. එවිට රිදී පන්දම් දැරූ සේවකයන් පෙරටුව යද්දී ඔහු කූඩාරමේ විවෘත කොටසට ආවේ ය. සෙන්පතියා හා ඔහුගේ සහකාර මුලාදෑනින් ඉදිරියෙහි ජුදිත් හුන් විට ඇගේ මුහුණේ ශෝභාව ඔවුන් සියලු දෙනා වසඟ කෙළේ ය. ඈ මුණින් වැටී ඔහුට ආචාර කළා ය. එහෙත්, ඔහුගේ මෙහෙකරුවෝ ඈ නඟා සිටෙව්වෝ ය.