හික්මවීමෙන් දැහැමි ජීවිත

1මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා, සියලු අවහිර ද, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා, 2ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.

3ඒ නිසා ඔබ අධෛර්ය ව විඩාවට පත් නොවන පිණිස, තමාට විරුද්ධ ව නැඟී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනැන් වහන්සේ ගැන සිතා බලන්න.

4පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත. 5දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද?

“මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න:
6මන්ද, සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන අය උන් වහන්සේ හික්මවන සේක;
පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන් වහන්සේ දඬුවම් කරන සේක.”

උවදෙස් හා අවවාද

14සියල්ලන් සමඟ සාමදානයෙන් සිටින්නටත්, ශුද්ධකම නැති ව කිසිවෙක් සමිඳාණන් වහන්සේ නොදක්නා බැවින්, ශුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න. 15කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද, 16දුශ්ශීල කෙනෙකු හෝ එක කෑම වේලක් නිසා සිය ජන්ම උරුමය විකුණු ඒසව් වැනි දේව අභක්තික කෙනෙකු හෝ නොවන ලෙස ද පරෙස්සම් වන්න. 17පසු ව ඔහු ඒ ආශීර්වාදය යළි උරුම කරගැනීමට කැමැති වුව ද, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූ හැටි ඔබ දන්නහු ය. ඉන්පසු ඔහු කඳුළු සලමින් එය ලබාගැනීමට අවස්ථාවක් ඉතා ඕනෑකමින් සෙවූ නමුත් එවැන්නකට ඉඩක් නොලැබිණි.

භයංකර පුරාණ ගිවිසුම හා තේජාන්විත නව ගිවිසුම

18ඔබ පැමිණ සිටින්නේ, ස්පර්ශ කළ හැකි ගිනි ජාලාවකට වත්, කළුවරට වත්, ඝන අන්ධකාරයට වත්, චණ්ඩ මාරුතයට වත්, 19හොරණෑ ශබ්දයට වත්, හඬකින් නික්මෙන වචනවලට වත් නොවේ. ඒ හඬ ඇසූ අය තවත් ඔවුන්ට එසේ කතා නොකරන ලෙස ඉල්ලා සිටියහ. 20මන්ද, “මෘගයෙකු වුව ද කන්දෙහි ගෑවුණොත්, ඌට ගල් ගසා මැරිය යුතු ය”යි කී අණ ඔවුන්ට දැරිය නොහැකි විය. 21ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, “මම බියෙන් වෙවුලමි”යි මෝසෙස් කී ය.

22එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය; 23සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය; 24නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතට ය. ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන උන් වහන්සේගේ ඉසීමේ ලෙය ද වෙතටත් ය. 25එසේ නම් කතා කරන තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න. මන්ද, මිහි පිට අනුශාසනා කළ තැනැන් වහන්සේ එපා කළ විට, ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනැන් වහන්සේ කෙරෙන් අහක් ව ගියොත් අපි කෙසේ ගැළවෙමු ද? 26උන් වහන්සේගේ ශබ්දය ඒ කාලයේ දී පොළොව කම්පා කෙළේ ය. එහෙත් දැන් උන් වහන්සේ, “මම පොළොව පමණක් නොව, ස්වර්ගයත් තව වරක් කම්පා කරවන්නෙමි”යි පොරොන්දු වී තිබේ. 27‘තව වරක්’ ය කීමෙන් අදහස් කරන්නේ නොසෙල්වෙන දේ පවත්නා පිණිස සෙලවෙන දේ, එනම්, මවන ලද සියල්ල පහ වන බව ය. 28එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. එමඟින් ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු. 29මන්ද, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි.