ශුද්ධාත්ම පොරොන්දුව

1තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූ ද ඉගැන්නුවා වූ ද සියලු දේ, 2උන් වහන්සේ තෝරාගත් ප්‍රේරිතවරුන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අණ දී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙළෙමි. 3උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක. 4උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, “ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. 5මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය”යි වදාළ සේක.

ස්වර්ගාරෝහණය

6ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල, “ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 7උන් වහන්සේ පිළිතුරු දෙමින්, “පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ. 8එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක. 9උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටිය දී ම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක.

10උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට, 11“ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.

ප්‍රේරිත තනතුරට මතියස් තෝරාගැනීම

12එකල ඔව්හු ජෙරුසලමට සබත් දවසක ගමන් දුර වූ ඔලීව නම් කන්දේ සිට ජෙරුසලමට පෙරළා පැමිණියහ. 13ඔව්හු නගරයට පිවිස තමන් නවාතැන් ගෙන සිටි උඩුමහල් මැදුරට නැඟුණාහ. ඔව්හු නම්: පේදුරු, ජොහන්, ජාකොබ් සහ ඇන්ඩෘ ද පිලිප් සහ තෝමස් ද බර්තොලමෙව් සහ මතෙව් ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ ජාකොබ් ද අන්ත ජාතිවාදී සීමොන් සහ ජාකොබ්ගේ පුත්‍ර වූ ජූදස් ද යන මොවුහු ය. 14මේ සියලු දෙනා, ස්ත්‍රීන් ද ජේසුස් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමිය ද උන් වහන්සේගේ සහෝදරයන් ද සමඟ එක්සිත් ව නොකඩ ව යාච්ඤාවේ නිරත වූ හ.

15මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය: 16“සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි. 17මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය. 18මේ මිනිසා, සිය ද්‍රෝහිකමෙන් ලත් මුදලින් ඉඩමක් මිලයට ගත්තේ ය. ඔහු එහි මුහුණින් වැටී, මැදින් පැළුණේ ය. ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය. 19ජෙරුසලම් වැසි සියල්ලන්ට එය සැළ විය. එබැවින් ඔව්හු ඒ ඉඩමට ඔවුන්ගේ බසින් ‘ලේ බිම’ යන අරුත ඇති ‘අකෙල්දෙමා’ යයි කී හ. 20මන්ද යත්:

‘ඔහුගේ වාසස්ථානය පාළු වේ වා!
කිසිවෙක් එහි වාසය නොකෙරෙත් වා!’
කියා ද, ‘ඔහුගේ තනතුර වෙන කෙනෙක් ගනිත් වා!’